බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන හා කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලය 1875 වර්ෂයේ දී භික්‍ෂූ අධ්‍යාපනය සඳහා කේන්‍ද්‍රස්ථානයක් ව පැවති විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන බිහිවූවකි. එය 1959 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය තත්වයට පත් කරන ලදුව 1978 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන ලදී. එහි මානව ශාස්ත්‍ර පීඨයට අයත් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, විසින් එදා මෙදා තුර අනුරාධපුර මහාවිහාරය මූලික කොටගත් බෞද්ධ අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම උදෙසා කරන ලද සේවාව අනල්ප වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පැරණිම අධ්‍යයනාංශය වන පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ශාස්ත්‍රීය දායකත්‍වය තුළින් මෙන්ම දේශීය විදේශීය උගතුන් දහස් ගණනක් බිහි කිරීමෙන් හා විදේශීය සබඳතා නිසා කීර්තිමත් තත්වයකට පත්ව ඇත.


පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලයේ දැනට පැරණිම අධ්‍යයනාංශයක් වන අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ අධ්‍යයනය සම්බන්ධයෙන් කීර්තිමත් ම අධ්‍යයනාංශයක් බව කිව යුතුය. පාලි, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය හා බෞද්ධ මනෝවිද්‍යාව යන විෂය ධාරාවන් මූලික කොට ගත් තදනුබද්ධ ජ්‍යොතිෂය, උපදේශනය, කළමණාකරණය හා ආයුර්වේදය යනාදී පැතිකඩ ඔස්සේ ද ඩිප්ලෝමා, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද උපාධිය දක්වා ම මෙහි හැදෑරීම් කටයුතු සිදුවෙමින් පවතී. දේශීය විදේශීය සිසුන් සඳහා සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දේශන පැවැත්වෙන අතර බාහිර සිසුන් සඳහා ද පහසුකම් රාශියක් සැලසී ඇත. වාර්ෂිකව පාලි, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය යන විෂය ධාරාවන්ගෙන් සිය ගණනක් බාහිර ශිෂ්‍යයන් විසින් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගනු ලබන අතර, ඩිප්ලෝමා හා එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය හා අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් පවත්වා ගෙන යනු ලැබේ. මෙම අධ්‍යයනාංශය මගින් බාහිර සිසුන් සඳහා හඳුන්වා දෙනු ලබන නවතම පශ්චාත් උපාධි පාඨමාලාව වන්නේ මෙම දෑ අවුරුදු බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවයි.